මාසයක් නිදිමරාගෙන පාඩම් කරලා දෙයියනේ කියලා විභාගෙ නම් ගොඩ දාගත්තා.  ප්‍රතිඵලේ දෙයියන්ටම බාරයි. දැන් ඉතින් කටු ගැහිලා ඉන්නේ. මේ දවස් වල පාරේ යන්නත් බයයි, ධාරානිපාත වැසි ඇද හැලෙනවනේ. බැරි වෙලාවත් වැස්සත් එක්ක එන හුළගකට මාව ගහගෙන ගියොත් කෑල්ලක්වත් හොයාගන්නම් හම්බවෙන්නෙ නැනේ :-D කොහොම වුනත් විභාගය අපිව ඉවර කරලා මේ දවස් වල පොඩ්ඩක් නිදහසේ ඉන්නවා :)           

   ඉතින් ඔහොම ඉන්න අතරේ එක දවසක් මම මගේ සහයට ඩැනියෙල් ෂැගී එක්ක වත්ත පහළට බැහැලා පොඩ්ඩක් ඇවිදින්න ගියා. ඉතින් වෙන කරන්න දෙයකුත් නෑනේ :-D ඇවිදින ගමන් වත්තෙ තිබුණපොල් කටුවකට පයින් පාරක් ගහගෙනම ගිහින් එතන ඉස්සරහ තිබුණු බංකුවෙ පොඩි වාඩියක් දැම්මා. එතකොට තමයි දැක්කෙ එතන බිම මදුරු කීටයෝ බිම වැටිලා දඟලනවා. අර පොල් කට්ටේ ඉඳලා තියෙන්නේ :(

   ඒක දැක්කාම  මට මගේ අතීතයේ පොඩි සිදුවීමක් මතක් උනා.2004 දෙසැම්බර් මාසේ  අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයත් කට උඩ තියෙද්දී මට හොඳටම උණ හැදුණා. සුපුරුදු පරිදි දොස්තර කෙනෙක් ගාවට ගියා බෙහෙත් ටිකක් ගන්න. මට තියෙන ලෙඩ ටික අහලා එයා කිව්වනේ ලේ චෙක් කරන්න කියලා. (එයාටනම් මොකද මටනේ රිදෙන්නේ :( ඊට කලින් ලේ අරන් තිබුණේ නෑ මම). ඉතින් ටිකක් බයෙන් තමයි ගියේ ලේ ගන්න කාමරය ඇතුලට. නර්ස් අක්කා මගේ අතේ තිබුණු ‍කොළේ අරගෙන මගේ ඇඟිල්ල අරන් කට්ටකින් විද්දා....දවල් තරුත් දැක්කා වගේ පොඩි මතකයක් තියෙනවා :-D නර්ස් එක්ක මට තද වෙලා හිටියේ x-(

කොහොම හරි ලේ වාර්ථාව අරගෙන ගියා ආපහු දොස්තර ගාවට. වාර්තාව බලපු දොස්තර එකපාරටම කිවුවනේ මට ඩෙංගු හැදිලා කියලා :'(  හත්දෙයියනේ එක ඇහුනාම මම හොඳටම බය උනා. මම බයවුණා කියල දැකල ඩොක් කියනව "හැබැයි බර පතල නෑ". දෙන බෙහෙත් ටික හරියට බීලා ගෙදරට වෙලා හොඳට විවේක ගන්න" කියලා. වාසනාවකට වගේ මට විභාගයට කලින් හොඳටම සනීප උනා :)

   මේ ඩෙංගු රෝගය පැතිරෙන්නේ  ඊඩ්ප්ස් ඊජිප්ට්යිස්, ඊඩ්ප්ස් ඇල්බොපික්ටස් හා ඊඩිප්ස් පොලිනේසියන් යන මදුරු වර්ගයන් මඟින්. ඩෙංගු රෝගියෙකුගෙන් ලේ රුධිරය සමඟම ඩෙංගු වයිරසය ඇතුළු වෙනවා. ඒ මදුරුවා තවත් නීරෝගි පුද්ගලයෙකුට දෂ්ඨ කළ විට වයිරසය කේඨය සමඟ සිරුරට ඇතුලු වෙලා ඩෙංගු රෝගය වැළදෙනවා. ඩෙංගු මදුරුවා දිවා කාලයේ තමා දෂ්ඨ කරන්නේ.

ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ ඩෙංගු වයිරසය සිරුරට ඇතුළු වෙලා දින 2 - 8ට පසුවයි. ඇස් වේදනාව, උණ , හිසරදය, වමනය, ඇඟ පත වේදනාව, බඩ රිදීම, දඳ වගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. දින කීපයකින් රෝග ලක්ෂණ උග්‍ර වෙලා ඩෙංගු රක්තපාත තත්ත්වය ඇති වෙන්න පුලුවන්. ඩෙංගු රක්තපාත තත්ත්වය තවත්  උග්‍රවීමෙන් කිසිසේත්ම සුවකළ නොහැකි ඩෙංගු කම්පන ලක්ෂණ ඇතිවෙනවා. කම්පනයත් සමග සමේ තෙත් සහිත ස්වභාවයක් ඇති වීමෙන් නාඩි වැටීම අඩු වෙලා රෝගියා පැය24 - 48  කාලයක් තුල මිය යාමට ඇති හැකියාව වැඩියි.

   පසු ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්ද තුල ඩෙංගු රෝගයේ ව්‍යාප්තියේ වැඩි වීමක් තියෙනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාෂයක් නිකුත් කරලා තියෙනවා. ජනවාරි මාසය තුල රෝගීන් 893 ක්‌, මේ මාසයේ 20 දාට රෝගීන් 352 ක් හදුනාගෙන තියෙනවා.
මෙම මාරාන්තික ඩෙංගු රෝගය බෝ කරන මදුරුවන් මර්ධනය කරන්න නම් මැලතියන් වැනි කෘමි නාශක මදුරුවන් ගැවසෙන තැන් වලට ඉසින්න ඕනේ. ඒ විතරක් මදි මදුරුවන්ට බිත්තර දාන්න පුලුවන් ස්ථාන සියල්ලම විනාශ කරලා පරිසරය පිරිසිදුව තියාගන්නත් ඕනේ. සතියට එක දවසක් වැය කරල තමන්ගෙ වටපිටාව සුද්ද කරගත්තොන් ඒකෙ වාසිය තමන්මයි. මොකද කියනවනං මේ මදුරුවාගේ ක්‍රියාකාරී ප්‍රදේශය සාමාන්‍යෙයන් අඩුයි.

   ඩෙංගු මාරයාගෙන් බේරෙන්න නම් අපි හැමෝම එකතු වෙලා උන්ට ඉන්න හිටින්න තැනක් නැති කරමු. තමන්ගේ වත්ත තම තමන් පිරිසිදු කර ගත්තනම් මේ පුංචි ශ්‍රී ලංකාව ඇතුලේ ඩෙංගු මාරයට ඉන්න තැනක් නැති වේවි :)


ම්...හැමදාමත් වගේ උදේම ගෙදරින් එළියට බැස්සා.හෙමින් හෙමින් ටවුමට කිට්ටු කළා....උදේම නිසා කඩවල් සේරම වගේ වහලා.
ම්ම්..... කවුද මේ කඩේ දොරකඩ සීතලට ගුලි වෙලා නිදාගෙන ඉන්නේ, මම යන ගමන්ම ඇහැ දාගෙන ගියා.
පව් අහිංසක ගෑණු කෙනෙකුයි පොඩි ළමයෙකුයි කඩේ ඉස්සරහා වැටිලා නිදි. හුඟාක් අසරණ වෙලා.

තමන්ට කියලා ගෙයක්, අපිට වගේ දවස ගානේ අන්දින්න ඇන්දුම්, අඩුම ගානේ අපේ අම්මලා අපිට හදලා දෙනවා වගේ කිරි කෝප්පයක් ඒ පොඩි දරුවා වෙනුවෙන් ඒ දුප්පත් අම්මට කරන්න බැරි තරමට අසරණ වෙලා .අම්මා කෙනෙක්ට බඩගින්නේ ඉන්න පුලුවන් වුනාට කවදාවත් තමන්ගේ දරුව බඩගින්නේ ඉන්නවා බලන් ඉන්න බෑ කිසිම අම්මා කෙනෙකුට. හිඟමන් යැදලා හරි කීයක් හරි හොයාගෙන ඒ දරුවගේ බඩගින්න නිවන්නය උත්සහ කරන්නේ.

දුප්පත්කම නිසා මිනිස්සු ගොඩාක් අසරණ වෙනවා, මේ ලෝකේ හැමදේම රැන්දිලා තියෙන්නේ මුදල් මත නිසා.සමහරු තමන්ගේ මෝඩ වැඩ නිසා තමන්ගේ හැම දේම නැති කරගෙන දුප්පත් වෙනවා. තවත් සමහරු උපතින්ම දුප්පත් කම අරන් එනවා , හරියට මම දැකපු ගෑණු කෙනයි ළමයයි වගේ.

මුදල් මත විතරක් රැදුනු මේ ලෝකයේ අඟහිඟ කම්  වලින් පිරුනු මිනිසුන්ටට ජීවත් වෙන්න ලොකු සටනක් කරන්න වෙනවා. මේවා කෙසේ වෙතත් දුප්පත් පවුල් වල ළමයින්ට වැඩිපුර දුක දැනෙනවා ඒ වගේම අඟහිඟ කම් දැනෙනවා ඒ නිසා  බහුතරයක් ඒ වගේ ළමයින් හැම සැප සම්පතක්ම ලැබෙන දරුවනට වඩා ඉගෙනීමෙන් ඉදිරියට ඇවිත් මේ සමාජයේම උසස් නිළ දරන අවස්ථා බාහෝමයි. ඒ නිසා කෙනෙකුගේ ජිවිතය සාර්ථක කරගන්න ඒ කෙනාගේ දුප්පත් බව හෝ පොසත් බව බලපාන්නේ නැහැ.වටින්නේ තමන්ගේ උත්සහය පමණයි.

මේ පුංචි ළමයවත් ඉස්කෝලෙකට යැව්වනම් කවදා හරි ඒ දරුවගේ උපතින් ගෙනාපු දුප්පත්කම නැති කරන්න පුලුවන් වේවි.
ඉතින් , ඒ වගේ ළමයෙක්ට එයාගේ හීනේ සැබෑ කරගන්න කාට හරි උදව් කරන්න පුලුවන්නම් කොයිතරම් ලොකු පිනක්ද....




දගකාර කමට ,
රිදෙව්වත් ඔබේ සිත මගේ වදනින්,
ආදරය පිරී සිත තුල,
ඉකි බින්දි තනිවම,
නිවෙන තෙක් ඔබේ දුක,

ඔබ දකින්නට දෙනෙතට  වරම් නැත,
ඔබෙන් වදනක් අසන්නට සවනට වරම් නැත,
නමුදු දෙනෙත් වැසු විට පෙනෙන්නේ ,
මට හිමි වු ඔබේ රුව පමණි....
සවනේ රැව් දෙන්නෙ ඔබේ වදන් පමණි....
හිතෙනවා දිව එන්න ඔබේ තුරුලට,
බිද දමා වැට කඩුලු....

එදත් අදත් හැමදාමත් මා ඔබේ ආදරයයි ...