මා නිවසට ආ විගසම දුව එන්නේ ඉහ වහ ගිය සන්තෝ‍සෙනි
දෙන්නේ ටොකු දෙකකි බේරන්නට බැරිම තැන
ආදරෙන් හිස පිරිමදින්නේ ඒ දුක නිවන්නයි

අපි සෙල්ලම් කළ මිදුලේ අද වෙනකෙකු දුව පනින හැටි
දුටු විට සිහිවෙනවා ඔබේ දඟ වැඩ මිදුලේ සැරි සරමින් කළ
අද ඔබ නැතිමුත් ඒ බොඳ වු මතකයන් සැරිසරනවා
තවමත් මා සිත් අහස වටා

ඔබ සිර කළේ කරදරයක් නොම වෙන්න
ගත හැර දමා කුටියෙම 
ගියේ සදහටම යලි නොඑන්නම

ඔබේ සිරැර පොහොරක් වී
දිනෙන් දින දලුලනවා සමන් පිච්ච පැලේ
ඔබේ සොහොන් කුටිය මත හිද

ඔබට දුන් ආදරය වෙනකෙකු කෙරේ ඇති නොවේ
ඒ ආදරය ලැබු එකම, අවසාන බලු පැටියා ඔයා විතරමයි....








          අපි හැමෝම ටෙලි නාට්‍ය චිත්‍රපටි බලනවනේ, ඒවයේ ඉන්න නළු නිළියන්ගේ මූණු දිළිසෙනවා. ඒවා දකිද්දි හිතෙනවානේ අපිටත් ඒ වගේ දිළිසෙන සමක්  තිබුණ නම්…… ඒත් බහුතරය ඒ වගේ ඉන්නේ මේකප් කරගෙනනේ. මම නම් පෞද්ගලිකව නම් මේකප් කරනවට වැඩි කැමැත්තක් නැහැ. ඒවාට හුරු වුනොත් ඒවා භාවිතයෙන් බැහැර වෙන්න අමාරු වෙනවා, කෙටියෙන්ම කිව්වොත් මේකප් වලට ඇබ්බැහි වෙනවා.

           අපේ මුහුණ දීප්තිමත්ව ලස්සනට තියාගන්න පුලුවන්නම් අපි හැමෝම කැමති නේද.... ඉතින් අපි මේ කතා කරන්න හදන්නේ මේකප් නැතුව, ලස්සන බැබලෙන පැහැපත් සමක් ඇති කරගන්නේ කොහොමද කියලා.

          අඩුම තරමින් දවසට වතුර වීදුරු 8ක්වත් බොන්න කියලා තමා  විශේෂඥයන් බොහෝ දෙනෙක් නිරදේශ කරලා තියෙන්නේ.  නමුත් වර්තමානයේ නවතම සොයා ගැනීම් වලට අනුව, පුද්ලයෙක් බොන්න ඕන වතුර ප්‍රමාණය තීරණය කරන්නේ එම පුද්ගලයාගේ බර අනුවයි. පුද්ගලයාගේ බර මැනලා එන අගය හතෙන් බෙදලා ලැබෙන අගයට සමාන වතුර වීදුරු ප්‍රමාණයක් බොන්න ඕනේ. මේ ආකාරයට වතුර ප්‍රමාණවත්ව ශරීරයට ලැබුණාම අපේ පද්දතියේ තියෙන සියලුම විෂ සහ අපවිත්‍ර දෑ මුත්‍රා මගින් ඉවත් වෙනවා. ඒ වගේම සම වියලීම වළකා සමේ තෙතමනය රදා පවතීමටත් උපකාරී වෙනවා.



          තවද විටමින් C අඩංගු ආහාර, වැඩිපුර ආහාරයට ගැනීමද වැදගත්. විටමින් C නිසා අකාලයේ වයසට යෑම ප්‍රමාද වෙනවා වගේම සමේ තරුණ බව ආරක්ෂා කරනවා. දොඩම්, ජමනාරං සහ විශේෂයෙන්ම දොඩම් කුලයේ පලතුරු වර්ග, තවද අර්තාපල් වලද විටමින් C අඩංගු වෙනවා.




          මීට අමතරව සින්ක් බහුල අහාර වර්ග වැඩිපුර භාවිතා කිරීමෙන් ‍සමේ ඇති වෙන තුවාල කැපිම් සීරිම් සුව විමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට උපකාරී වෙනවා. බිම්මල්, වට්ටක්කා, ධාන්‍ය වර්ග, බිත්තර, චීස් වැනි අහාර වල සින්ක් බහුල වශයෙන් අඩංගු වෙලා තියෙනවා.



          ආහාරමය දේවල් වගේම මෙන්න මේ අධ්‍යාත්මික කරුණු ගැනත් සැලකිලිමත් වීම වැදගත් …
    
1. තමන් තමාටම අවංක පුද්ගලයෙක් වෙන්න
2. ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න, අන්අයට වඩා තමාව විශ්වාස කරන්න
3. හැම විටම මුහුණ මද සිනහවක් මතු කරගන්න
4. තරහ ගැනීම අවම කරගන්න
5. නිවරදි මග පෙන්වීමක් යටතේ භාවනාවේ යෙදෙන්න

          මේ කරුණු  ගැන සැලකිලිමත් වුනොත් ලස්සන පැහැපත් සමක් වගේම සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්න පුලුවන් වේවි.




          ප්‍රේමවන්තයින් ආදරේ කරන කාලයේ  නිතරම හමුවීමට හෝ නිතර කතා කිරීමට ප්‍රිය කරනවා. මෙහිදී ඔවුන් එකිනෙකා ‍තේරුම් ගැනීමක් සිදු කරනවා. මේ විදියට ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන විවාහ දිවියට එළඹෙන පෙම්වතුන්ට හැමදාමත් ‍ප්‍රේමවන්තයන් වෙලා ඉන්න බැරිද??? අවුරුදු කීපයක් ආදරය කරලා විවාහ වෙලා ටික කාලයකින් දෙදෙනාගෙම සිනාසුනු නෙත් වෙනුවට කඳුළින් පිරි ජීවිතයක් ගතකරන්න වුනොත් කොයිතරම් අවාසනාවන්තද….

          දෙදෙනෙක් අතර බැඳීම් ශක්තිමත් වෙන්නේ එකිනෙකාගේ අදහස් හුවමාරුව මත සහ අදහස් අවබෝධ කර ගැනීම මතයි. වර්ථමානයේ සැමියා රූපවාහිනිය බලමින් හෝ අන්තරජාලයේ නිකරුනේ කාලය ගත කරනව නම්, බිරිඳ උදේ පටන් රාත්‍රී වනතුරුම නිවසේ වැඩ සියල්ලම තනිවම කිරීමටත් සිදු වෙනව නම්, අඹු සැමි සබඳතාවය එකිනෙකාට දුරස් වීමක් සිදුවෙනවා

           දවසේ වැඩ සියල්ලම අවසානයේ සැමියා සමඟ බිරිඳ නිදහසේ පරිසරයේ සිසිල විදිමින් ඇවිදිමින් හෝ තමන්ට හිතට නිදහසක් ගෙන දෙන ඕනෑම ස්ථානයක දෙදෙනා එකතුවී එදිනෙදා සිදුවීම්, හෙට දවස ගැන සතුටින් කතා කිරී‍ම දෙදෙනා අතර තියෙන බැඳීම් ශක්තිමත් වීමට උදව් වෙනවා. විවිධ සැක සහිත සිතුවිලි වගේම අවබෝධය අඩු කමින් ඇති වන ගැටලු බොහෝමයක් ඇති වෙන්නේ පිළිසඳරක් නොමැතිව ජීවත් වන විට බව මතක තබා ගන්න.
          දෙදෙනුකුගේ ආදරයට බලපාන තවත් දෙයක් තමා, කෙනෙක් අනිකාට කතා කරන විලාසය. ප්‍රිය මනාපව එකිනෙකාට ගෞරවයෙන් කතා කිරීමෙන් එම පුද්ගලයා කෙරෙහි ගෞරවයක්, ආදරයක් ඇති වෙනවා. කෙනෙක් ගෞරවයෙන්, හැගීමෙන් කතා නොකිරීම නිසා අනෙක් පුද්ගලයාට ද පීඩාවක් ඇති කරන අතරම අප්‍රසන්න ලෙස ජීවත් වීමට සිදු වෙනවා. ඒ වගේම තමයි ප්‍රිය වචන වලින් සුහදව හැගීමෙන් කතා කරන්න නිරවුල් මනසක් අවශ්‍ය වෙනවා. ප්‍රේමවන්තයින් හෝ අඹුසැමියන් මෙය දියුණු කරගත යුතු ලක්ෂණයක්.

          සහයෝගීතාවය ගැන කතා කලොත්, බොහෝ කාන්තාවන් විශාල කාර්‍ය්‍යක් නිවසේ සිදු කරනවා. ඒ වගේම රැකියාවක් කරන කාන්තාවකට වගකීමක් සමඟ නිවසේ සියලු දේ තනිවම හැමදාම සිදු කිරීමෙන් ඔවුන් මානසික පීඩනයකට ලක් වෙනවා. උදේ පටන් රාත්‍රී වනතුරුම නිවසේ වැඩ කටයුතු, සැමියාගේ වගේම ළමයින්ගේ සියලු දෑ තනිවම කරන අතර තුරදී සැමියා නිවසට පැමිණීමෙන් පසුව ඔහු නිකරුනේ කාලය ගතකරනවා නම්, ඔවුන් අතර සහයෝගීතාවයක් නොමැතිකම නිසා අසමගියක්  මෙන්ම සබඳතාවන් දුර්වල වීම සිදු වෙනවා.

          ඒ නිසා සැමියෙක්, තම බිරිඳ සමඟ පුලුවන් හැම විටකම සහයෝගයෙන් ක්‍රියා කිරීමෙන් ඔවුන් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට වග බලාගත යුතුයි.

          අපි හැමෝටම ජීවත් වෙන්න ආදරය කරුණාව අවශ්‍යයි, ඒත් ඒ ආදරය දැනෙන්න ආදරේ කරනව නම් තමා ජිවිතේ, ආදරේ රස විදින්න පුලුවන්. තමාන්ගේ ආදරය තමන් ආදරය කරන කෙනාට දැනෙන්න නම් ඔහුව/ඇයව ඒ ඒ අවස්ථාවන් වලදී අගය කළයුතුයි, ඒ ඒ අවස්ථාවන් වලදී ඔහුට/ඇයට කෘතවේදීතාවයක් දැක්විය යුතුයි. තමන්ගේ කැපවීම් ආදරවන්තයා/සැමියා අගය නොකිරීමෙන්‍ හිත් රිඳවීම් සිදුවෙනවා.(ආදරවන්තිය/බිරිඳ විසින් ද මෙවැනි දෑ සිදුවෙනවා.) ඔහු/ඇය ව අගය කිරීමේදී හදවතින්ම හදවතට දැනෙන වචන කතා කළ යුතුයි.


          ඕනැම යුවලක් අතර ගැටුමක් ඇති වෙන්න පුලුවන් තවත් එක් කරුණක් තමා සැකය කියන්නේ. මෙවැනි  ජීවිත වලට ආදරය දැනෙන්නේ නැහැ. සැකයක් ඇති වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ දෙදෙනාට දෙදෙනා විවෘත නොවීමයි. විවෘත ජීවිතයක් ගත නොකිරීමෙන් දෙදෙනා අතර දුරස්ථ බවක් ඇති කිරීමට හේතුවක් වෙනවා. ආදරේ කිරීමට හෝ විවාහ දිවියට එළඹුනු දෙදෙනෙක්  මම යන වචනය වෙනුවට අපි යන්න භාවිතා කිරීමෙන් ඔවුන් අතර ශක්තිමත් බැඳීම් ගොඩනැගෙනවා.

          තව දෙයක් තමා අපි බොහෝ අවස්ථාවලදී සිත තුල ඇති වෙන ආවේගී හැඟීම් තවත් කෙනෙකු පිට යවනවා, ඒ පුද්ගලයා ආදරවන්තිය/ආදරවන්තයා හෝ බිරිඳ/සැමියා වෙන්න  පුලුවන්. මෙවන් අවස්ථා වලදී ආදරවන්තයා/ සැමියා  නිකරුනේ දෝෂාරෝපණයන් එල්ල කරනවානම්, ආදරවන්තිය/ බිරිඳ හිත පාලනය කරගනිමින් නිශ්ශබ්දව සිටීම නුවණට හුරුය. ඔහුට ආවේගය පිට කරන්න ඉඩ දිය යුතුයි. (ආදරවන්තයා/ සැමියා ටත් මේක වලංගුයි) පසුව දෙදෙනා නිදහසේ සිටින විටක ඒ කාරණය ගැන හෙමින් සීරුවේ සාකච්චා මාර්ගයෙන් විසදගන්නවා නම් ගැටුම් ඇති වීම වලක්වා ගන්න පුලුවන් වේවි.

තවද යුවලක් අතර ගැටලු ඇති වීම වළක්වා ගැනීමට උපකාරී වන කරුණු කීපයක් සලකා බලමු.


·       විද්්‍යුත් මාධ්‍යය වලට වගේම අන්තර් ජාලයට(ෆේස් බුක් වැනි) අනවශ්‍ය ආකාරයට ඇබ්බැහි වීමෙන් වැළකිය යුතුයි.

·       ලද දෙයින් සතුටු වීමෙන් තමන්ට හැකි පමණින් කටයුතු කළ යුතුයි, තමන්ට නැති දේවල් ගැන සිත්තැවුලෙන් කාලය ගත කිරීමෙන් වළකින්න.

·       දරදඬු අදහස් හා තීරණ යහපතක් නොව අයහපතක් සිදු කරයි.

·       තමන්ගේ සහකරු සහකාරිය අව ප්‍රමාණ නොකළ යුතුයි.

·       අතීතයේ සිදු කළ වැරදි සිදු වු සියල්ල, අතීතයේ කසල සියල්ලම පුළුස්සා දමන්න.

·       තමන් වාසය කරන ස්ථානය වගේම තමන් ද පිරිසිදුව ජීවත් විය යුතුයි.

·       ගමන් යැමේදී ඒ පිළිබඳව දෙදෙනාම දැනුවත් විය යුතු අතර, හැකි සෑම විටම දෙදෙනාම එකට ගමන් බිමන් යන්න.

·       එකිනෙකාගේ සතුට සඳහා එකිනෙකා කෙරේ සුහදශීලීව කටයුතු කිරීම අවශ්‍යයි

·       එකිනෙකාට ගෞරව කිරීමට පුරුදු විය යුතුයි. ගෞරව ලැබීමට නම් අනෙකාට ගෞරව කළ යුතුයි.

·       තමා අතින් වරදක් සිදු වුයේ නම් එය පිළිගැනීමට තරම් නිහතමානී වීම.

·       දියුණු විය හැක්කේ මට නොවේ අපි දෙදෙනාට යැයි සිතීම, මමත්වය නැති කළ යුතුයි.

·       රහස් තබා ගැනීමෙන් සැකය උපදින්න මාවත සලසා දෙයි. හැම විටම තමන් ආදරය කරන කෙනාට විවෘතව කතා කරන්න. එවිට විශ්වාසයන් ගොඩ නැගේ.

          ආදරයේ සැබැ රසය විඳින්න, අර්ථාන්විත ජීවිතයක් ගත කරන්න, ආදරය තමන් ආදරය කරන කෙනාට දැනෙන්න දෙන්න….. එවිට සාර්ථක දිවියක් ගත කරන්න පුලුවන් වේවි. අද පටන් සතුට ජීවිතයට ළං කරගන්න ආදරය දැනෙන්න ආදරය කරන්න










 


කාන්තා පිරිමි කුඩා ළමයින් අපි හැමෝම වගේ ගමනක් යන්න පිටත් වෙද්දි පාවහන් යුගලක් පලඳින්න අමතක කරන්නේ නම් නැහැ නේද???? ඉතින් මේ පාවහන් පලඳින නිසා අපි නොදැනම අපිට හානිකර දෙයක් වෙනවා කියලා කිවිවොත් :D බය වුනා නේද??? ඔව් අනිවාර්යෙන්ම බය වෙන්න ඕනේ මෙන්න මේ වගේ වර්ගයේ පාවහන් භාවිතා කරන කාන්තාවන්…..අනික තමා මේවා භාවිතා කරන ගැහැණු ළමයි අයිතිකාර පිරිමි ළමයි J

මෙන්න මේකයි කතන්දරේ…..හුඟාක් කාන්තාවන් නවීන විලාසිතා කරන්න හුරු වෙලා තියෙනවා. ඒක හොඳයි, නමුත් විලාසිතා කරන්නෙ අපේ සෞඛ්‍ය තත්වය ගැන නොහිතානම්, ඒක ටිකක් බරපතලයි


දැන් බොහෝ කාන්තාවන්ගේ විලාසිතාවක් තමා අඩි උස පාවහන් පැළදීම. මේ නිසා තමන්ගේ ශරීරයට වෙන හානිය ගැන දැන ගන්න එක හොඳයි නේද????



මේ පින්තූර දෙකේ පෙන්නුම් කරන්නේ අඩි උස පැලඳ විට සහ නොමැති විට පිටින් පෙනෙන ආකාරය.

පැතලි අඩි පාවහන් යුගල

උස අඩි පාවහන් යුගල

මේ විදියට සිරුර ඉදිරියට නැමෙන නිසා කොඳුනාරටියේ කශේරුකාවේ ස්නායුවලට තෙරපුමක් ඇති වෙනවා. මේ නිසා තමයි අපේ කාන්තවන්ට වැඩි පුරම කොන්දේ අමාරු හැදෙන්න හේතුව.

උස අඩි නිසා දණහිස් වලට අසාමාන්‍ය තෙරපුමක් , පීඩනයක් ඇතිවෙනවා. මේ නිසා සාමාන්‍ය පීඩනයට වඩා 26% කින් පීඩනය වැඩිවීමක් සිද්ද වෙනවා. ඒ වගේ මේ පවහන් වලින් ඇති වෙන ආනතිය නිසා කකුලේ ගැස්ට්‍රොක්නිමියස් පේශිය(GASTROCNEMIUS MUSCLE) සංකෝචනයක් සිදුවෙනවා. එවිට ගැස්ට්‍රොක්නිමියස් මාංශ පේශිය කොට වෙනවා වගේම තද වීමක් වෙනවා.

ගැස්ට්‍රොක්නිමියස් පේශිය(GASTROCNEMIUS MUSCLE) 


ගැස්ට්‍රොක්නිමියස් පේශි‍යේ වෙනස් වීම


අනිත් බලපෑම සිද්ධ වෙන්නේ කකුලේ බල නහරයටයි(Tendon). කකුලේ ඉදිරිපස කොටස පහතට තල්ලු වෙනවා විලුෙඹ් සම්බන්ධයත් ඒක්කම. ඒනිසා  බල නහරය තද වීමක් හෝ  තෙරපීමකට ලක්වෙනවා. මේ නිසා විලුඹ කැක්කුම, කකුලේ අමාරුව ඇතිවෙනවා.

බල නහරය(Achilles Tendon)

ඒ විතරක් නම් මදැයි, මොළයට සම්බන්ධ රුධිර නාලවලටත් ස්නායුවලටත් හානි වීමෙන් මානසික සෞඛ්‍යයටද බලපෑම් ඇතිවෙනවා.

හැබැයි සම්පූර්ණයෙන් අඩි නැති පාවහන් තෝරා ගැනීමත් ඒ තරම්ම සුදුසු නැහැ. අඟල් එකහමාරක් හෝ අඟලයි තුන්කාලක් උස පාවහන් බාවිතයට ගන්නවානම් වඩාත් සුදුසුයි.

අඩි උස පාවහන්වලින් බාවිතය,  ශරීර සෞඛ්‍යයට හානි වීම නිසා අපේ එදිනෙදා කටයුතු අඩාල වෙනවා වගේම දීර්ඝ කාලීන රෝග රැසකට අත වැනීමක් නේද......  විලාසිතා කරාට කමක් නැහැ, ඒත් මේ වගේ අහිත කර දේවල් බාවිතයෙන් ප්‍රවේසම් වෙන්න අමතක කරන්න එපා.......



ගිගිරුම් දිදි වහින්නේ මහ වැසි,
වැහි වළාකුලේ හිරු කිරණ අහිමිද මහ පොළවට.....

උණුසුමෙන් පොළව ඉරිතලමින්,
හිරු රැස් නපුරු ඇයි මහපොළවට.....
කෙලෙස දරන්නද අහසේ නපුරුකම්.....

වැහිබිංදු සමඟින් හිරු රශ්මිය ඇත්නම් එකලෙස,
සරු ඵල නෙලා ගතහැක පොලෝ තල‍යේ උතුරන ස්නේහයෙන්....