මුළු රටපුරාම විසිර සිටින සියලුම බෞද්ධ ජනතාව සාමකාමීව ඉතාමත් උත්කර්ෂවත් ආකාරයෙන් පසු ගිය 16 වැනි දින 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරුවා. තොරන් දන්සල් වෙසක් කූඩු හරි හරියට ගමපුරාම තිබුණා. ඒ වගේද පන්සලකට ඇගිල්ලක්වත් ගහන්න ඉඩ නෑ සු….. ගාලා සෙනග.

          අපිත් ඉතින් වෙසක් උත්සවය සමරන ජනතාවනේ…..වෙසක් කූඩු හදන්නත් ඕනේ නිසා වෙසක් පෝයට කලින් දවසේ කූඩු හදන්න අවශ්‍ය කරන කලමනා ටික අරන් එන්න පොඩි වෙසක්  කඩේකට ගියා. මේක ඇතුලට ගියපු ගමන් මගේ ඇස් දෙකනම් ගියේ වෙසක් කාඩ් පැත්තටයි. ම්…..ලස්සන ඒවා තිබුණා අනේ :-D ඒවා අල්ලලා දාලා ආපු වැඩේ කරගෙන යන්න එපැයි.

          පාට හතරක සව්කොළ දොලහකුයි , බල්බ් වැලකුයි තෝර තෝර ඉන්න අතරේ……ඉටි කොළයක් ඇතුලේ ප්ලාස්ටික් කෑලි වගයක් පැක් කරලා තිබුනා. ඒකට ආපු මිනිස්සු වැඩි පිරිසක් ඒවා තමා ගත්තේ. මමත් පොඩ්ඩක් බැලුව ඒවා මටත් ඕන වෙන දෙයක්ද කියලා. ෂා……ප්ලාස්ටික් කැලි එකතු කරලා හදන්න අටපට්ටමක් :-D ඒත් මටනම් ඒවා අරගෙන ගිහින් කූඩු හදන්න හිතුනේ නෑ L මම නම් කැමති මගේ අතින්ම මගේ මහන්සියෙන්ම එක කූඩුවක් හරි හදලා වෙසක් දවසට එල්ලලා ඒකේ ලස්සන බලන්නයි. මේ වගේ දවසක් අපිට එන්නේ අවුරුද්දට එකපාරයිනේ, ඒ දවසෙත් අපේ මිනිස්සු ලේසියට බිල්ඩින් බ්ලොක්ස් හදනවා වගේ වෙසක් කූඩු හදන්න පුරුදු වෙලා. ඇයි මේ වගේ දවසකවත් ගෙදර කට්ටිය එකතු වෙලා ළමයි එක්ක එක වෙසක් කූඩුවක් හදන්න බැරි. මේ වගේ දේවල් නිසා අපේ අනාගත ළමා පරපුර අටපට්ටමක් හදන විදිය නොදන්න, නොදැකපු පිරිසක් බවට පත්වෙනවා. මේ නිසා ඒ ළමයින්ට වෙසක් අසිරිය හරි ආකාරයෙන්ම වින්දන්න ලැබෙන්නෙනම් නැහැ. අවුරුද්දට එක වරක් පමණක් ලබන්නා වු මේ පින්බර වෙසක් මංගල්යේදි තමන්ගේ ගෙදර කට්ටිය එකතුවෙලා හදපු වෙසක් කූඩුවක් එල්ලුවනම් නියම වෙසක් අසිරිය විදින්න පුලුවන් වේවි.


          ම්……ඉතින් ඔන්න මමත් එදා හවසම ඇවිල්ලා රෑ වෙද්දි අටපට්ටම්  කූඩු හතරක්ම හැදුවා ගෙදර කට්ටියත් එක්ක එකතුවෙලා :-D මෙන්න මෙහෙම තමා මගේ කූඩු ටික වෙසක් පොහෝ දින තිබුණේ J

5 අදහස්:

පන්සල් හංදිය said...

සහතික ඇත්ත කියලා තියෙන්නෙ ....... දැන් වෙසක් එකත් වාණිජකරණය වෙලා ......

මමත් ඔය ගැන ලිපියක් දැම්මා ....

http://pansalhandiya.blogspot.com/2011/05/blog-post_20.html

Anonymous said...

ඔය තියෙන්නේ ලස්සනටම.... තමන්ම කූඩුවක් හැදුවම තමා නියම වෙසක් එක දැනෙන්නේ...

෴ හසියා ෴ said...

ඇත්ත කතාව.....ම්ම්ම් අද වෙසක් කියන්නේ සල්පිලක්...එහෙමත් නැතිනම් වාණිජ කරනයේ උච්චතම අවස්ථවට පැමිණි උත්සවයක්...

ඉස්සර ‍වෙසක් කාලෙට පොඩි කඩේක විකුණුවේ මැටි පහන්, සව් කොල, බල්බ් වැල් හා බල්බ් (ඒත් වැඩිය නෑ) ඉටි පන්දම් වගේ දේවල්....ඒත් අද... වෙසක් කුඩුව පවා විකුණනවා.ඒ විතරක්ද කිසිම ගැලපීමක් නැති වෙස් මූණු.ඉස්සර අපි වෙසක් කාඩ් අපිම හදලා යැව්වේ...ඒත් අද කාලේ ළමයි....?

මම නම් හිතන්නේ මේකට වග කියන්න ඕනි අද කාලේ දෙමාපියෝ...මොකද අද කාලේ ළමයට වෙසක් කූඩුවක් තියා විනාඩි පහක් නිවීසැනසිල්ලේ ඉන්න දෙන්නේ නෑ...පාඩම් වැඩ ටියුෂන් කෙරුවවා නිසා.ඉතිං ළමයින්ටත් වෙසක් කූඩුවක් හැදුවාම ඒකෙන් ලැබෙන් තෘප්තිය වගේම අත්දැකීම විදගන්න ලැබෙන්නේ නෑ...වෙසක් කූඩුවක් හැදනවා කියන්නේ ඒකෙන් ළමයාගේ හැකියාවන් වර්ධනය වීමක්...හිතීම නිර්මාණශීලීත්වය වැඩිදියුණු කිරීමක්....ඕක ඉතිං අද කාලේ දෙමව්පියෝ කවදා තේරුම් ගනීද නැද්ද කියලා දන්නේ නෑ...

ඉතිං වරද කාගෙද‍....

නියමයි පෝස්ට් එක....දිගටම ලියන්න....

(අහම්බෙන් පෝස්ට් එක දැක්කේ....)

ටී.බී. හේරත් said...

කඩෙන් ගෙනිහිල්ල හරි වෙසක් එකට වෙසක් කූඩුවක් දල්වන එක නම් ඉඳුරාම අගය කල යුතු කටයුත්තක්.

නමුත් වෙසක් කූඩුව කඩෙන් ගත්තද, තමන්ම හැදුවද කියන එක නෙවේ වැදගත් වෙන්නෙ, ඒ තුලින් අපට ලැබෙන යථාවබෝධය. නමුත් අවාසනාවකට වෙසක් කූඩු හදන අය සහ මිල දී ගන්න අය බොහෝ දෙනා ඒ අවබෝධය ලබන්නෙ නෑ.

අවශ්‍ය කථිකාවත පැත්තකින් තියල වෙසක් කූඩු කඩෙන් ගන්න එකේ හරි වැරැද්ද කථිකා කිරීම පය බරවයට පිටිකර බෙහෙත් බැඳීමක් නොවන්නේදැ.
වැඩි විස්තර>>

සංකල්ප said...

අනිවාර්යෙන්ම ගෙදර කට්ටිය එකතුවෙලා හදන කූඩු තරම් සල්ලි වලට ගන්න කූඩු වැඩක් නෑ. අපිත් වෙසක් එකට කූඩු හැදුවා. කඩෙන් නම් ගත්තේ නෑ

Post a Comment